Tuesday, February 7, 2017

උතුම් ශ්‍රී කතරගම දෙවියන් වහන්සේ පිලිබඳ සත්‍ය කතාවක්

මෙම ලිපිය 2016 පෙබරවාරි 14 වන දින ඉරිදා ලංකාදීප පුවත්පතෙහි තක්සලාව අතිරේකයෙහි "මහලු වෙසක් ගෙන පැමිණි කතරගම දෙවියෝ"  ලිපියෙහි උපුටා ගැනීමකි.

උතුම් කතරගම  දෙවිඳුන් සත්‍යයි!

Image result for katharagama kiriwehera

කඳ සුරිඳුන් ප්‍රිය කරන සුදන චර්යාධර්ම මොනවාදැයි හඳුනාගෙන තිබේ. සැබවින්ම දෙවියන් ඉදිරියට එන බැතිමතා තුල ප්‍රබල පෞරුෂයක් තිබිය යුතුය. නිවටයන්ට උදව් කරනු නොලැබේ. ඊට හේතුව දේවශාන්තියකින් නිවටකම පිසදා දැමීම කල නොහැකි වීමයි. අසරණ අයට පිහිට වීම ආදී උදාර වූ චර්යා ධර්ම කිහිපයක්ම මේවට ඇතුලත්ය. එක්තරා පුද්ගලයෙකු (දිසාපතිවරයෙකු) විපතකින් මුදවා ගැනීමට කඳ සුරිඳුන් මැදිහත් වූ සත්‍ය සිදුවීමක් මෙහි අඩංගු වේ.
ඒ 1988-89 භීෂණ සමයයි. සති අන්තයේ සිකුරාදා ස්වකීය  රාජකාරි නිමවා මේ දිසාපතිතුමා බදුල්ලේ සිට තම නිවාස පිහිටි මාතරට යාමට එමින් සිටියා. ඔහුගේ කාරය දැන් තණමල්විල පසුකොට ඉදිරියට එයි. රාත්‍රී අටත් පසු වී ඇති නිසා කළුවර දැඩිය. මේ දිනවල මිනිස් ඝාතනද බහුල විය. සවස හයෙන් පසු මංමාවත් වල මිනිස් පුළුටක් වත් නැත. තරමක ඈතින් පාරේ කවුදෝ හිටගෙන සිටියි. කාරය ලං වෙනවාත් සමගම පාරේ මැද සිටි අයෙකු වහා අයිනට ගොස් කාරයට ඇත දැමීය. ඒ පන් මල්ලක් අතින් ගත් මහලු අයෙකි. හාත්පස ඝන අඳුරින් වසාගෙනය. හැම අතින්ම පරිසරය බියජනකය. මේ වියපත් මගියා කෙරෙහි දයානුකම්පාවෙන් කාරය නවතා පසුපස දොර ඇර දී ඔහුද හිඳුවාගෙන ඉදිරියට එයි. එතැන සිටම මේ මගියා දිසාපතිවරයා සමග කතා කරයි. කතරගම වඳින්නට යමුයි දිගින් දිගටම මගියා කියයි. ඔහුගේ කීමට අවනත වූ දිසාපතිවරයා කාරය පන්නගමුව හන්දියෙන් හරවා දිගටම කතරගමට පැමිණ රථගාලක රිය නතර කළේය. දෙදෙනාම ගොස් කිරිවෙහෙර වැඳ එයින් පහතට බැස බෝධියට ද වැන්දහ. ඉන්පසු මහා දේවාලයේ ඉදිරිපස මිදුලේ රැඳී දේවාලය දෙසට හැරී දෙවියන්ට පින් දී දැන් ආපසු එති. මෙකි සියලුම වන්දනා කටයුතු වලදී මහලු මගියා කී පරිද්දෙන් කිරීමට දිසාපතිවරයාට සිදු විය. දැන් දෙදෙනාම කාරයට නැගී තිස්සමහාරාම දෙසට එති. පාරේ විදුලි පහන් කණුවල එළියෙන් කාරයේ රියදුරාට පසුපස අසුනෙහි සිටින්නා ඉදිරිපස කණ්ණාඩියෙන් පෙනේ. දැන් දිසාපතිවරයා සිතනුයේ මාතරට සැතපුම් හැටපහක පමණ පමණ දුරක් යාමට ඇති බවත් වෙලාව රාත්‍රී දොළහට අසන්න බවත්ය . ඔහු සුපුරුදු වේගය වැඩි කොට තිස්සමහාරාම චෛත්‍යය පෙනෙන ඉසව්වට පැමිණියේය. නිකමට මෙන් රියදුරු ඉදිරිපස කණ්ණාඩියෙන් පසුපස අසුන බැලීය. ඊළඟ විදුලි කණුව ලඟදි හොඳින් බැලීය. පුදුමයකි. මහලු මිනිසා කාරය ඇතුලේ නැත. දිසාපතිවරයා කාරය නතර කළේය. පසුපස දොර ඇර බලන විට මහල්ලාගේ පන් මල්ල පමණක් අසුන උඩ තිබුණි. පුද්ගලයා තිස්සමහාරාම මහා සෑය ආසන්නයේදී අතුරුදන් වී ඇත. එම පන් මල්ලද කිසියම් නිවසකින් ඉවත දමන  ලද දිරාපත් එකකි. සිත දැඩි කර ගත් දිසාපතිවරයා ස්වකීය ගමන ආරම්හ කළේය. තංගල්ල ආසන්නයේදී පොලිසිය විසින් කාරය නතර කරන ලදී. ඔවුන් මෙතුමා ගැන විස්තර විමසා ප්‍රකාශ කලේ “ සර් මීට ටිකකට කලින් මෙතනට ආවා නම් මේ කාර් එකටත් වෙන්නේ අර වගේ දෙයක් තමා" යයි ගිනි තබනු ලැබූ කැබ් රථයක් පේනවා ඇත. ඉන් පසු නිරුපද්‍රිතව නිවසට පැමිණි දිසාපතිවරයා ස්වකීය නිවැසියන්ට ද කාර්යාලයට ගිය පසු එහි කාර්ය මණ්ඩලයට ද ප්‍රකාශ කොට තිබුනේ අතරමගදී තමන්ට සිදුවීමට තිබූ මරකයකින් මා මුදවාගත්තේ කතරගම දෙවියන් මිස අන් කවුරුත් නොවන බවයි. එදා සිට අද දක්වා සෑම වර්ෂයකම අර මහල්ලා හමුවූ දිනය දාට මේ දිසාපතිවරයා කතරගමට වන්දනාව පිණිස එයි.



සී.කුමාරසුරියර් මහතා විසින් සුරිඳුනි කතරගම 2011 සඟරාවෙහි දක්වනු ලැබ ඇති පරිදි කතරගම දෙවියන් යනු මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින අසාමාන්‍ය දෙවි කෙනෙකි. ඔහු දක්වන කතාව මෙසේය. සෙල්ල කතරගම පදිංචි වැදී තරුණියක වන වල්ලි අම්මා සොයමින් යන කතරගම දෙවියන් වහන්සේ වයසක මිනිසෙකුගේ වේශය මවාගත් බව කියයි. එම වයසක මිනිසා අතරමගදී සාමාන්‍ය මිනිසුන් සමග සුහදව කතාබහ කල බවද සඳහන් කරයි. වල්ලි අම්මා සොයා ගත් මහල්ලා ඇයව විවාහයට ගනියි. ඉන්පසුව ඔහු මනුෂ්‍ය වේශය අත්හරියි. එදා දිසාපතිවරයාට මුණ ගසුනේද පන් මල්ලක් ගත් මහල්ලෙකි. ඇමෙරිකාවේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරන රත්නායක මහතා ද මෙවැනි කතරගම මහල්ලෙකු පිළිබඳව අප සමග කියා තිබේ.
මහාචාර්ය රත්නායක මහතා තමන්ගේ ගම වන තිස්සමහාරමයට පැමිණ සිටියේ ඇමෙරිකන් ජාතික මහාචාර්යවරයෙකු සමගය. මෙයින් ඇමරිකන් ජාතික මහාචාර්යවරයාගේ පර්ස් එක කතරගමදී නැති විය. කිරි වෙහෙරට ගොස් ආපසු එන අතරේදී පර්ස් එක නැති බව දැනගෙන තිබේ. එදින සෙනග ද වැඩිපුර සිටි බව ද පැවසීය. නැවත දෙදෙනාම ගොස් කිරි වෙහෙර අවට සහ පාර දිගට පරීක්ෂා කල නමුත් පර්ස් එක හමු නොවීය. දෙදෙනාම මහ දේවාලයේ මිදුලෙහි රැඳී සිටියහ. ඇමරිකන් ජාතිකයා දැඩි කනස්සල්ලට පත වී සිටි බවද තමන්ට ලොකු ලැජ්ජාවක් ඇති වූ බවද රත්නායක මහතා පැවසීය. පුදුමයකි. සෙනග අතරින් පැමිණි වයසක අයෙකු ඇමෙරිකානු මහාචාර්යවරයාගේ අතට පර්ස් එක දී සෙනග අතරේම නොපෙනී ගිය බවත් එකී පර්ස් එකෙහි කිසිවක් අඩු වී නොතිබූ බවත මහාචාර්ය රත්නායක මහතා අපත් සමග කීය. ඉතිහාස කතාවේ වල්ලි අම්මා කරකාරයට ගත්තේ ද මහලු අයෙකි.
මේ මහා පොලොව අති විශාලය. ඒ කුඩා කුඩා ජීවීන් වන අපට දැනෙන හැටිය. ඒ එසේ වන්නා සේම පෘථිවිය විශ්වයෙහි ඇති කුඩා තරුවක් පමණි. මේ සුර්යයා හා සමාන තවත් සුර්යයන් බොහෝ ගණනක ඇත. ඒ අනුව තරුකා ප්‍රමාණය ද අති විශාල සංඛයාවකි. එසේ බලන විට තවත් පෘථිවීන් සහ ජීවීන් ද ඉමහත් සංඛ්‍යාවකි. ඒ එසේනම් එම පෘථිවීන්හි  මනුෂ්‍යන් සිටීමද ඒකාන්තය. මේ අනන්ත වූ විශ්වය ද විශ්වයේ ඇති බලය ද මෙසේ යයි කොටස් කිරීමට හෝ මිම්මකට ගැනීමට හෝ කල හැකි නොවේ.  ඉතා ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙකුවන මහාචාර්ය හාලෝ ෂැප්ලී මහතාගේ පරීක්ෂණ වාර්තා අනුව ජීවීන් වාසය කරන ග්‍රහලෝක ලක්ෂ ගණනක් බව පැහැදිලි වෙයි. පොළොවෙහි ද සාගර ජලයෙහි ද වායුගෝලයෙහි ද ජීවත් වන සියලුම ජීවින් පවා මෙතෙක් හඳුනාගෙන නැත. මිනිස් ඇසට පෙනෙන හා නොපෙනෙන එහෙත් හඳුනා නොගත් ජීවීහු කොතරම් සිටිත් ද? තවද ඇසට නොපෙනෙන පමණින් අදෘශ්‍ය සාධක අභෞතික වෙයිද ? සියලුම විද්‍යාත්මක ගවේෂණ වලප්‍රධානම අරමුණ මිනිසුන්ගේ දීර්ගායුෂය රැකගැනීම සහ සුඛ විහරණය වැඩි දියුණුවයි. එහෙත් එක් ක්ෂණයකින් සියලු ජීවින් එකවර විනාශ කිරීමට විශ්වයේ ඇති බලයකට හැකියාව තිබේ. සත්ත්ව සංහතියේ අධිකතාව හෝ ඌනතව හෝ පාලනය කරන්නේ ද ස්වාභාවධර්මයයි. අනාගත ව්‍යසනයන් පිළිබඳ කිසිදු පෙර නිමිත්තක් නොදක්වා ජීවීන්ගේ වැඩි කොටස (මොනයම් අයුරකින් හෝ) විනාශ කොට සමතුලිතතාව ඇති කරනු ලබයි. මෙබඳු අවසතවන්හිදී මිනිසුන්ට පිහිටක් ලබා දී තිබෙන්නේ අදෘශ්‍යමාන බලවේගයන්ය. හදිසි අපදාසහ විපත්වලින් මිදී සැනසීමක් ලැබුවෝ කඳසුරිඳුන් ඉදිරියෙහි පුජෝපහාර තබා දෙවියන්ට ස්තූති කළහයි විස්තර කතා කියන අය අපට හමුවී තිබේ.

අවසන් වශයෙන් තව කරුණක් සඳහන් කරමි. යුරෝපීය මනොවිග්‍රහාත්මක ප්‍රබන්ධ කතාවල සඳහන්ව තිබෙන ගුප්ත බලවේග සහ අසාමාන්‍ය සිද්ධීන් පාදක කරගෙනය. එකී ග්‍රන්ථ වල පුර්විකවන්හි ඒ බව සඳහන් වේ. ඒවා නිබොරු නම් කඳ සුරිඳුන් පිළිබඳව සහ උන්වහන්සේගේ බල පරාක්‍රමය රජයන පුදබිම පිළිබඳව සත්‍ය අත්දුටු දේ ඉදිරිපත් කරන්නට යම් දැනීමක් ලබා සිටිමු. සැමට කඳ සුරිඳුන්ගේ දේව ශාන්තිය ද ආරක්ෂාව ද ලැබීමෙන් සැනසීම හා සතුට ලැබේවා යනු අපගේ ප්‍රාර්ථනයයි.

කතෘ: ආරියපාල ජයසේකර, කොහොඹගහපලැස්ස, තිස්සමහාරාම.