Saturday, July 20, 2019

දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතයම කැප කැප පුජකයන්ට කතරගම දෙවියන් පිහිට වූ හැටි.

Related image

මෙම ලිපිය 2019.07.07  ලංකාදීප පුවත් පතෙහි පළවූ දෙවිනුවර දම්සිරි කරුණාරත්න මහතා ලියු ලිපියකි.

ලංකාවේ බැතිමතුන් අතර ජනප්‍රියම දෙවියන් වහන්සේ කව්රුන්දැයි විමසුවහොත් බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ උතුම් ශ්‍රී කතරගම දෙවියන් වහන්සේය. කතරගම පුරවරයට පැමිණ හෝ නොපැමිණ එම දෙවියන් සිහි කරගෙන කරනු ලබන වැඳුම් පිදුම්, පුද පිළිවෙත්, භාර හාර, පඬුරු ගැට ගැසීම්, දාන මාන, සෙත් කවි ආදිය කෙළවරක් නැතිව සිදු වෙයි. එමගින් පිහිට පිළිසරණ ජයග්‍රහණ ලැබෙන බවට ඇති අසීමිත විශ්වාසයන් එක් ආගමකට සිමා වී නැත. ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද ඇතැම් විට වෙනත් රටවල ද මේ දෙවියන් වහන්සේගේ කිතුගොස පැතිර ඇති බව පෙනෙන්නේ එම පුරවරයට විදෙස් රට වල සිට පැමිණෙන පිරිස් දකින විටය.
මේ ලිපියෙහි අරමුණ වන්නේ දෙවියන් වහන්සේ පිලිබඳ සජීවීව ලැබූ අත්දැකීමකට අදාළ රසබර සිදුවීමක් ගෙනහැර දැක්වීමයි. මෙකි අත්දැකීම ලැබුයේ එවකට 69 වැනි වියේ පසු වූ ඉතාම ප්‍රකට හින්දු භක්තික පුජකයෙකි.

කතරගම පුදබිමට ගොස් බෞද්ධාගමික පිළිවෙත් අනුව ප්‍රථමයෙන් ඓතිහාසික කිරිවෙහෙර වන්දනා කොට එම මළුවේ පඩිපෙළ මත සිට තමන් පැමිණි (දකුණතින් ඇති) මග දෙස ආපසු බැලූ විට  ඉහලින් ඈත පෙනෙන්නේ වැඩසිටි කන්දයි. පිරිවර කඳු කිහිපයකින් යුක්තව ඝන වනයෙන් වැසුණු මේ කන්ද පූජනීය වූද, දර්ශනීය වූද, ජනප්‍රවාදයන්ට මුල් වූද, බැතිමතුන් යන එන වඳින පුදන සුවිශේෂී ස්ථානයකි. ‘වැඩිහිටි කන්ද’ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පැවතුන ද ඒ ගිරි දුර්ගයේ නම වැඩසිටි කන්දයි. කතරගම දෙවියන් වහන්සේ වැඩසිටි එම දෙවියන්ගේ මුලස්ථානය මේ කඳු ශිඛරය බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එපමණක් නොව මේ දෙවියන්ගේ අනභිභවනීය වූ ශක්ති වේලායුධය දෙවියන් වහ්සේගේ ශ්‍රී හස්තයෙන්ම වැඩසිටි කන්දේ තැන්පත්කර කලක් මෙහි වැඩසිටි බව හින්දු දේව කථාවල සඳහන් වේ. මේ කන්දේ තිබු අති පැරණි පූජනීය ස්ථානයට දුටුගැමුණු කුමරු කතරගම විසු භරණ නම් (රජපෙළපතේ) තම මිතුරා සමග ආගිය බව ද කියනු ලැබේ. වැඩසිටි කන්දේ පුදබිම කතරගම මහා දේවාලයටත් වඩා පැරණි බව ද විශ්වාශ කෙරේ.

කතරගම සිට සැ. 3ක් පමණ දුරින් පිහිටි මේ කන්ද දක්ෂිණ කෛලාසය, අංජන පර්වතය, හේමකුටය, මැදුම් හෙළය ආදී නොයෙක් නම් වලින් යුගයෙන් යුගය ප්‍රකට වී තිබිණ. බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික සහජීවනයටත් අහිංසාවාදී ශිලවන්තකමටත් ජීවිතය කැප කරමින් භාවනාවෙන් කල් ගෙවූ පූජනීය වූ ඍෂිවරුන් හා යෝගාවචර තවුසන් සිය ආශීර්වාදාත්මක ශක්තිය සඵල කරගෙන අධ්‍යාත්මික බලය වැඩි දියුණුකර ගැනීම වැඩසිටි කන්ද මුල් කරගෙන සිදුකර ගෙන ඇති බවට ඇති කථා පුවත් බොහෝය. ඒ හේතුවෙන් ඉන්දියාවේ අතිප්‍රභල මහා යෝගිවරුන් අධ්‍යාත්මික මහපෙන්වීම් අනුව වැඩසිටි කන්ද ආශ්‍රිතව දේවාශිර්වාද ලබා ඇති බව කියනු ලැබේ.

කාලයාගේ ඇවෑමෙන් නටබුන් අතරට එක්ව අලි, කොටි, වලසුන්, දිවියන්, සර්පයින් බහුල මහ වනයෙන් වැසුණු   මේ පුදබිම හෙළි පෙහෙළි කොට වන්දනාවට මඟ පෑදීමේ ගෞරවය හිමිවන්නේ ඉකුත් සමයේ වැඩසිටි කන්ද පුදබිමේ අධිපතිව සිටි රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන්ටය. මෑත කාලයේ මෙරට සිටි  දක්ෂ ගුප්ත ශාස්ත්‍ර ගවේශකයෙකු හා පූජා විධි පිලිබඳ හසල දැනුමක් ඇති පඬිරුවනක් සිද්ධාර්ථ නාහිමියන් ඇතැම් හින්දු පුජකයන්ට ද දේවාල කපුවන්ට ද ගුරුවරයෙකු වූ බවට රහසක් නොවේ. බීමට දිය පොදක්වත් නොතිබූ වැඩසිටිකන්ද අද පවතින තත්ත්වයට දියුණු කරන්නට කළ කැපකිරීම සාර්ථක වුයේ කතරගම දෙවිඳුන්ගේ ආශීර්වාදය නොඅඩුව තමන් වෙත ලැබූනු නිසා බව සිද්ධාර්ථ නාහිමියන් පැවසු වාර අපමණය.

නාහිමියන් වැඩසිටිකන්දේ දියුණුවට වැඩකරන සමයේ වදසිටිකන්දේ දේවාලයේ කටයුතු කරන රිසියෙන් පළපුරුදු පුජකයෙක් කතරගම සිට පැමිණියේය. මුහුණ පුරා ඝණව වැදුණු සුදු පාහ හෝ සිවුරු පැහැගත් ඇඳුමින් ද කරට දැමු සාටකයකින් ද සැරසී සිටින මේ සාමිවරයා දේව තේවාවට කැපව ඇත්තේ වයස අවු. 16ක තරම් තරුණ වියේ සිටය. ඔහු එක දිගට වසර 55ක් කපුවකු වශයෙන් සේවය කර තිබිණි. නමින් වී. සංගරපිල්ලේ (ශංකර් පුල්ලේ) වන මොහු පළමුව වැඩසිටිකන්දේ පහල පිහිටි පුල්ලෙයාර් දේවාලයේ වසර ගණනක් කටයුතු කර පසුව වැඩසිටි කඳු මුදුනේ දේවාලයේ සේවය කරද්දී අපුරු අත්දැකීමකට මුහුණ දුන්නේය.

සුපුරුදු පරිදි කිසිදු සැප පහසුවක් නැතිව රාත්‍රියේ වැඩසිටි කඳු මුදුනේ නිදා සිටි සාමිවරයා කිසිදා නොදුටු සිහිනයක් දුටුවේය. තමන් අභිමුවට පැමිණ සිටි කිසියම් පුද්ගලයෙකු මෙසේ පැවසිය.
‘නුඹ දෙවියන් වෙනුවෙන් බොහෝ කැප වී සිටියා.  දුක් විඳිමින් අනුන්ගේ යහපතට වැඩ කළා. දැන් නුඹ මහලුයි. මනුෂ්‍ය ආත්මයක් ලැබූ නුඹේ ආයුෂ ගෙවී ගිහින් තව ජීවත්වෙන්න තිබෙන්නේ සුළු කාලයයි. මම අවේ නුඹට උදව්වක් කරන්නයි. ජීවත් වෙන ඉතිරි කාලය බුද්ධ ධර්මය අනුව වැඩ කරපන්. තිසරණ සරණ ගිහින් පන්සිල් සමාදන් වී පංචශීලය රකින්නට මතක තිය ගනින්. එයින් නුඹට යහපතක් වෙයි.’

නින්දෙන් තිගැස්සී අවදි වූ සාමිවරයාට ඒ වචන හොඳින් මතක තිබිණ. මේ මහා පොලොව මත මනුෂ්‍යයෙකු හැටියට දිවි ගෙවන්නට ඉතිරිව තිබෙන්නේ ඉතාම සුළු කාලයක් බව පැවසු වදන් ඔහුගේ හදවතේ තදින් සටහන් විය. ඒ අන් කිසිවක් නොව කතරගම දෙවියන් වහන්සේගේ වදන් බව පසක් කල ඔහු අලුයම වෙනතෙක් නොනිදා කල්පනා කළේ ගෙවී ගිය තම ජීවිතයේ කල කි දේවල්ය. තමන් පිළිබඳව දේවියන්ට පෙනී ඇති අන්දම සිහිපත් කල් ඔහු එමගින් කිසියම් සතුටක් ද භුක්ති විඳිමින් අලුයම වනතෙක් සිටියේ සිද්ධාර්ථ නාහිමියන්ට මේ බව පැවසීමටය.

මේ තොරතුරු ඇසු වැඩසිටි කන්දේ නාහිමියන්ගේ අදහස වූයේ ද සිහිනෙන් පැමිණ කථා කාලේ කතරගම දෙවිඳුන් බවය. එතෙක් හින්දු අගමිකයෙකු හැටියට කටයුතු කළ සංගරපිල්ලේ සාමි කැඳවා තාමන් හමුවේ තිසරණ සහිත පංචශීලයේ පිහිට වූ නාහිමියෝ තිසරණය ගැනත් පන්සිල් පදවල අරුතත් පහදා දෙමින් අධ්‍යාත්මික පැත්ත වර්ධනය කර ගැනීමේ වැදගත්කම කියා දුන්නේය. එතැන් පටන් බුදුන් මෙන්ම දෙවියන් ගැන මහත් භක්තියක් ඇතිකර ගත් ඔහු දිනපතා බෞද්ධාගමික කටයුතු කරමින් වෙනදා  නොතිබූ සැනසිල්ලක් අත්වින්දේය.

මේ කියන ලද සංගරපිල්ලේ සාමි සුළුපටු පුද්ගලයෙකු නොවන බව පෙනී යන්නේ ඔහු බුදු දහම වැළඳ ගැනීම ගැන වසර 58 කට පෙර එනම් 1961 ජනවාරි 14 වැනිදා ‘දිනමිණ’ පුවත්පතේ පලවූ තොරතුරු අනුවය. මේ සාමිවරයට දිවයනේ නොයෙක් පළාත් වල ගෝලයින් 400ක් සිටි බව ද තම ගුරුවර සාමිතුමන් බුදුදහමට ගිය බව ඇසු එම ශිෂ්‍යයින් ද බුදුදහම වැළඳගත් බව එම පුවතෙහි සඳහන්ව තිබේ. බෞද්ධයෙකු වූ පසු සංගරපිල්ලේ විසින් සිද්ධාර්ථ නාහිමියන්ට දානයක් ද පිරිනැමූ නව එහි සඳහන් වේ. මේ ප්‍රවෘත්තිය සිද්ධාර්ථ නාහිමියන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පූජා විදි අඩංගු ග්‍රන්ථයක මුල් කොටසේ සඳහන් වෙන්න් සාමිවරයා විසින් ලියන ලද ලිපියක් ද සමඟිනි.

හින්දු ආගමිකයනට කතරගම දෙවියන්ගේ පිහිට ලබාගත නොහැකි බවක් මින් අදහස් නොවන බව සැලකිය යුතු වේ. ශීලවන්ත භාවය හෙවත් සිල්වත් බව, කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව අනුනට සේවය කිරීම, තම කුසල ශක්තිය වැඩිදියුණු කරගැනීම අගමනුකුල කටයුතු වල යෙදීම, දානාදී පින්කම් වල නිරත වීම හා ඒවාට සහය දැක්වීම, භාවනාවෙන් සිත් දියුණු කර ගැනීම ආදී යහපත් ක්‍රියා දේවාත්මලාභින් ඉතා ප්‍රිය කරන මානුෂික ක්‍රියාකාරකම් වේ.  බුදුරදුන් තෙවන වර ලක්දිවට වැඩ රහතන් වහන්සේලා පන්සීය නමක් පිරිවාරගෙන කතරගම කිරිවෙහෙර පිහිටි තැන හිඳ එම පුරයට අධිපතිව සිටි මහාසේන නම් දෙව්රජු ප්‍රධාන පිරිසට දහම් දෙසු බවත් දහම් අසා ඒ දෙව් රජු සෝවාන් ඵලයෙහි පිහිටි බවත් බෞද්ධයින්ගේ පිළිගැනීමයි. එම ස්ථානයට රැකවරණ සලසන ලෙස භාර කරන ලදුව එම දෙවියන් එය ඉටු කරමින් සිටින බව විශ්වාශ කෙරේ. කවර ආගමිකයෙක් වුවද  ඉහත කි උසස් මානුෂික ගුණාංගයන්ගෙන් යුක්ත වී නම් දේවාශිර්වාද නොඅඩුව ලැබෙන බව ගුණගරුක භක්තිවතයින්ගේ අදහස වී තිබේ.

අද කතරගම යන එන ජනයාගෙන් කීයෙන් කී දනක් මේ උතුම් පිළිවෙත් රකින්නේ ද. සසර සැරිසරන අතර මනුෂ්‍ය ආත්ම ලැබුවන්ට ජාති, ජරා, මරණ, ප්‍රිය විප්පය්ගයන්ට මුහුණ දීමට සිදු වේ. ඒ සියලු දේ මැද ශේෂ වනුයේ දාන ශීල භාවනාදියෙන් රැස් කරගත් පිනක් පමණි. ඒවායෙහි හරි හැටි නිරත නොවී විනෝදකාමී ලෙස කතරගම පුරවරයට පිවිස පෙරේත තටුවක් වැනි වැනි පූජා වට්ටියක් තබා තමන්ම ඒවා අනුභව කරන අයට දේවාශිර්වාද ලැබේදැයි සිත බලන්න. මහානුභාවසම්පන්න දෙවි කෙනෙකු නොව අමනුෂ්‍යයන් විසින් ඒ පුද පිළිගන්න බව භාවනනුයෝගීන් විසින් තහවුරු කරගෙන තිබේ.

මේ ලිපියට පාදක කරගත් පොත පත ලියු රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි වසර සියයක් පමණ ආයු වළඳා අපවත් වුහ. ඒ දෙව් පුද පිළිවෙත් වල ද පෙන්වා දී ඇත්තේ පන්සිල් සුරැකීම, මෛත්‍රී භාවනා ආදියෙහි දිනපතා නිරත වීම, දානාදී කුසල ක්‍රියා වල නිරත වීම ආදියෙන් දෙවියන් වහන්සේගේ සිත් පැහැදෙන බවයි. මිනිස් සිත නිතර උත්සහ කරනුයේ සියල්ල තමන් සතු කර ගැනීමටය. මිල මුදල්, දේපල, යාන වාහන, තනතුරු රැස්කරන අතර ඒවා අහිමි වේ යැයි යන සැකයෙන් පසු වේ.  සිත තුල තෘෂ්ණා, මාන, කෝප, ඊර්ෂ්‍යා ආදී පාප සිතිවිලි රැස් වේ. අසනීප වී ජරාවට පත්ව මෙලොවින් පිටව යන විට තෙක් ආශාවෙන් රැස් කල සියල්ල මෙහි දමා අකුසල් සිත් පමණක් රැගෙන ගොස් නිර ගින්නෙන් පැසෙන අපාය දුගතියක උපදී.

අද සිටින බොහෝ අයට අත්වන ඉරණම මෙය බව පිං කැමති දෙවියෝ දනිති. මනුෂ්‍යයා දනට පිනට, ශිලයට, ගුණයට යොමු වන්නේ නම් දෙවියෝ අපමණ සතුටට පත් වෙති. වැඩසිටි කන්දේ පුජකයෙකු වූ සංගරපිල්ලේ ස්වාමිතුමන්ට සිහිනෙන් පැමිණ දැනුම් දී ඇත්තේ ද මේ කරුණු ටික බව පැහැදිලිය. කමහෝගී දුසිරිතෙන් ඉවත්ව චාම් වූ පිනැති දිවියකට පුරුදු වීම කෙසේවත් කල්දැමිය යුතු නැත. හේතුව බන දහම නොතකා හරින්නන්ට ලෝ දහමින් ගැලවීමක් නැති බැවිනි.

-දෙවිනුවර දම්සිරි කරුණාරත්න-
2019.07.07  ලංකාදීප

No comments:

Post a Comment