Saturday, July 7, 2018

සෙනසුරු අපලයට උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේගේ පිහිට ලබන ආකාරය - උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේ


========================================================================
මෙම ලිපිය 2014 නොවැම්බර් මස 12 වන බදාදා “දියණිය” පුවත්පතෙහි 03 වන පිටුවෙහි රන්දී ඉෂාරා වීරගේ විසින් රචිත ප්‍රවීන ජෝතිශ්‍යවේදී මාවනැල්ලේ ජනක රත්නායක මහතාගේ විග්‍රහයකි.
========================================================================


පාරමී දම් පුර මතු බුදු බව               පතන
නාරන දෙව්තුමනි යුතුවන ගුණ       නුවණ
භූ ග්‍රහ දොස සමඟ බාධක පිස        තොසින
අප හට දිවි රැකුම ලැබ දෙනු මැන මෙතින

මතු බුදුවන්නා වූ ශ්‍රී බුද්ධ බල ඇති, ගුරුලාසනයෙහි වැඩ සිටින නීල වර්ණයෙන් බබලන්නා වූ මහා බලවත් ආයුධ සතරක් ඇති, දශ අවතාර ඇති, ලංකා රක්ෂක, සර්ව බලධාරී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට පාද නමස්කාර කරමින්, ඔබවහන්සේගේ අවසර පතමින්, ඔබ වහන්සේ නමට දියණිය පුවත්පතේ, මේ පත් ඉරුව භාර කරමින් ම ශ්‍රී විෂ්ණු දිව්‍ය රජෝත්මයාණන් වහන්සේගෙන් ඔබට සුබසෙත ලබා ගත හැකි වන්නේ කෙසේදැයි නිවැරදිව වටහාදීමටයි අපේ මේ සුදානම.
ශ්‍රී විෂ්ණු, නාරායන යන විවිධ නම්වලින් හින්දු බැතිමතුන් හඳුන්වනු ලබන නමුත් ලාංකේය අපි උපුල්වන් දෙවිඳුන් ලෙස පිං පෙත් අනුමෝදන් කරනු ලබන  උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් ලංකාව තුල සම්බුදු සසුන භාර වී ඇති දෙවිඳුන් ලෙසයි බෞද්ධ ජනයා හඳුන්වනු ලබන්නේ. පිරිනිවන් මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ සම්බුදු සසුන ස්ථාවර මට්ටමින්ම නොනැසී අනාගතයේත් පවතින්නේ ශ්‍රී ලංකාවේ බව දැන, ලංකාවේ සම්බුදු සසුන රැකගැනීමට දෙවියන්ගේ රැක්ම බැල්ම ලබාදෙන්න යැයි කල දැනුම්දීමට අනුව, සක් දෙවිඳුන් විසින් ඒ භාරදුර්ය වගකීම ශ්‍රී උපුල්වන් දිව්‍ය රජෝත්මයාණන් වහන්සේට පැවරු බව මහාවංශය තුල සඳහන් වේ. මේ භාරදුර්ය වගකීම වසර දෙදහස් පන්සියයකටත් වඩා නොපිරිහෙලා ඉටුකරමින් දකුණු ලක දෙවිනුවර තුඩුවේ ශ්‍රී විෂ්ණු මහා දෙවොලට අධිපතිව වැඩ වෙසෙමින්, සිරිලක පුරාම තේජෝබල පරාක්‍රමය විහිදුවන ශ්‍රී විෂ්ණු උපුල්වන් දෙවිඳුට පින් අනුමෝදන් කරනු ලබන්නේ මේ ගාථාවෙනි.

සම්බුද්ධ ශාසන වරං යථි පුංගවංච
සම්පලනය පටිලද්ධ වරෝ යසස්සී
පුඤ්ඤාභිමානී අනුමෝදිය වාසු දේවෝ
පාලේතු මං සත සාත හිතාව හන්තෝ
Related image

සෙනසුරු ග්‍රහයාගෙන් සිදු වන අපල විපත් සඳහා පිහිට ආරක්ෂාව ලබා ගත හැකි දෙවියන් වන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේයි. (අපල යනු පෙර කල අකුසල කර්ම පලදීම යනුවෙන් ද පිළිගැනේ) විෂ්ණු දෙවියන්ගේ ජීවිතයටත් අපල විපත් කිරීමට බලා සිටි සෙනසුරු ග්‍රහයා, ඔහුගේ කාලය පැමිණි පසුව, විෂ්ණු දෙවියන් අභිමුවට ගොස් “ලෝ සතුන් සියලු විපත් වලින් ආරක්ෂා කරන ඔබ වහන්සේට හැකියාවක් පවතින්නේ නම්, මගේ බැල්ම ඔබ වහන්සේගේ ජීවිතයට වැටි ඇති ඉදිරි සත්වස හමාර තුලදී හැකිනම් මා පමුණුවන විපත් වලින් ආරක්ෂා වන්න” යැයි පවසා තිබේ. සෙනසුරුගේ අපලයෙන් බේරීමට උපක්‍රම යෙදු විෂ්ණු දෙවියන් බට කැලයකට ගොස් ඇත් වේශයක් මවාගෙන ඒ කැලය තුල ජීවත් වී තිබේ.
සෙනසුරුගේ අපලය නිමවූ පසුව යලි දේව භවනට වැඩම කල කල ශ්‍රී විෂ්ණු දෙවියන් අභිමුවට පැමිණි සෙනසුරු දෙවියන්, මගේ වසර හත හමාර තුල දී මා ඔබ වහන්සේට බට කොළ ක ජීවත්වීමට සැලැස්වූ බව පවසා ඇත.
එහිදී විෂ්ණු දෙවියන් පවසා ඇත්තේ බටකොළ කෑවේ ඇතකු වන බැවින් එය ඇතාට ප්‍රියජනක ආහාරයක් වූ බවයි. එසේම බටකොළ ඇතුන්ට අහිතකර නොවන බැවින් සෙනසුරු අපලයෙන් සිදු වන රෝග පීඩා, දුක් දොම්නස් සහ ආහාර අහේනියෙන් තොරව තම ආත්මය සැපසේ ජීවත් බැවින් ඔබ මට කල අපල විපත් මගේ ආත්මයට නොදැනුණු බවයි. මේ දේව පුරාණයට අනුව සෙනසුරු අපලයෙන් උපක්‍රමශීලිව ජය ගැනීමේ ශක්ති මහිමය පවතිනේ උතුම් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටයි. එබැවින් සෙනසුරු මාරුවීම් වලින් ඔබට වන අපල විපතින් ඔබව ගැලවා ගත හැකි වන්නේ උතුම් ශ්‍රී විෂ්ණු උපුල්වන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේටයි.
සෙනසුරු මාරුවෙන් සුළු හෝ අපලයක් පවතින සියලු දෙනාටම විෂ්ණු දෙවියන් උදෙසා සිදුකල හැකි පුජාවක් පවතියි. මේ සඳහා ඔබ ඔබේ පන්සලේ විෂ්ණු දේවාලයට හෝ ශ්‍රී විෂ්ණු දෙවිහාමුදුරුවන්ගේ තේජබල පරාක්‍රමය පවතින කුමන හෝ දේවාල භූමියකට යා යුතුයි.
මෙහිදී ඔබ නිල් කටරොලු මල් හෝ නිල් මහනෙල් මලින් සැදු මල් දමක් රැගෙන යා යුතුය. එසේම නිල් මල් යෙදු මල් වට්ටියක්, සුවඳකූරු සහ එළඟිතෙල් සහිත නැවුම් පහනකින් යුතු පූජා භාජනයක් ද පලතුරු වට්ටියක් ද  දේවාලයට රැගෙන ගොස් උතුම් ශ්‍රී විෂ්ණු දෙවියන් වහන්සේට පුජාව සිදු කල යුතුයි. මල් මාලය සහිත පූජා භාජනයත්, පලතුරු වට්ටියත් දේවාලයේ පුජකතුමාට භාර දෙන විට ඒ සමඟම පඬුරක් ද පූජා භාජනයේ තබා භාර දීම වැදගත්.
මේ පඬුර පරණ කාසියකින් සකසා ගත යුතුයි. තඹ කාසියක් නම් වඩාත් හොඳයි. දෙහි යුෂ සහ කහවතුරින් සේදු තඹ කාසියෙහි සෙනසුරු අපලය පවතින පුද්ගලයාගේ නම ලියා පිරිසිදු නිල් රෙදි කඩක ඔතා, පූජා භාජනයේ තැබිය යුතුයි. දේවාලය තුලට දුන් පූජා භාජනය යාතිකා කිරීමන් අනතුරුව යලි ඔබට දුන් පසුව, විනාඩියක් පමණ ඔබගේ දෑතේ තබාගෙන දෙඇස් පියාගෙන, ඔබගේ ලග්නය පළමුවත් නම දෙවනුවත් පවසමින් “අසවල් ලග්නයෙන් ජනිත මේ නම් දරන මා හට පැමිණ ඇති සෙනසුරු අපලය උතුම් ශ්‍රී විෂ්ණු උපුල්වන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ දෙවාප්‍රභාවයෙන් දුරුවී යත්වා” යැයි ප්‍රර්ථනා කර, පඬුරු බැඳීමට නියමිත ස්ථානයේ බැඳීම සිදු කල යුතුයි. මේ පුජාව සිදුකිරීමට සෙනසුරාදා දිනයක සෙනසුරුගේ හෝරාව යොදාගැනීම  වඩාත් සුදුසුයි.

========================================================================
මෙම ලිපිය 2014 නොවැම්බර් මස 12 වන බදාදා “දියණිය” පුවත්පතෙහි 03 වන පිටුවෙහි රන්දී ඉෂාරා වීරගේ විසින් රචිත ප්‍රවීන ජෝතිශ්‍යවේදී මාවනැල්ලේ ජනක රත්නායක මහතාගේ විග්‍රහයකි.
 =======================================================================



No comments:

Post a Comment